Back

ⓘ ජුලියන් අසාන්ජ්. ආන්දෝලනාත්මක විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ වරයා වේ. විකිලීක්ස් වෙබ් අඩවිය හරහා හෙළිදරවු කරනලද ඇෆ්ගන් හා ඉරාක හමුදා මෙහෙයුම් හා ඇමරිකානු තානාප ..




ජුලියන් අසාන්ජ්
                                     

ⓘ ජුලියන් අසාන්ජ්

ආන්දෝලනාත්මක විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ වරයා වේ. විකිලීක්ස් වෙබ් අඩවිය හරහා හෙළිදරවු කරනලද ඇෆ්ගන් හා ඉරාක හමුදා මෙහෙයුම් හා ඇමරිකානු තානාපති කේබල් පණිවිඩ හරහා ඇසෙන්ජ් ප්‍රසිද්ධියට පත් විය.

පසුගිය වසර පහක් තිස්සේ හරි හැටි ලිපිනයක් පවා නොතිබුණු, ජූලියන් අසාන්ජ් අද වන විට සමාජය ඉදිරියේ ප්‍රශ්නකාරී මිනිසෙක් වී සිටිනවා සේම කතිකාවක් නිර්මාණය කළ මාධ්‍යකරුවෙක් වී සිටිනවා දැක්ක හැකිය. අසාන්ජ් ගේ ජාතිය - පැවැත්ම - කුලය හෝ භාෂාව ආදී වන සමාජය විසින් හැල්මේ ප්‍රශ්න කරමින් සිටින පුද්ගලිකත්වය හෝ අසාන්ජ්ගේ මාධ්‍යවේදී නොවන භූමිකාව පිළිබද ම විසින් හදාරා නැත්තෙමි. මා විසින් එසේ නොකරනු ලබන්නේ, අසාන්ජ්ගේ පුද්ගලික ජීවිතය හැදෑරීමට කල් වෙහෙසීම මගින්, මාධ්‍යකරුවා ලෙස අසාන්ජ් හැදෑරීමට ඇති කාලය මිඩංගු කිරීමට මම නොකමැති නිසාය. සරලව කියමි. ප්‍රියංකා චෝප්‍රාට අනියම් පෙමක් තිබෙන බව දැන ගැනීමට තරම් මට කැසිල්ලක් නැත. නමුත්, කලාව කියවීම පිණිස ප්‍රියංකාගේ රංගනය හැදෑරීමට කැසිල්ලක් ඇත. අසාන්ජ් සම්බන්ධයෙන් ද මට ඇත්තේ එවැනි අදහසකි. නමුත් තවද කියමි, මාධ්‍යකරුවා ලෙස අසාන්ජ් කියවීමේදී අත්‍යාවශ්‍යෙයන්ම කියවිය යුතු දේ අතිශය පුද්ගලික හෝ වේවා, ඒවා හැදෑරීම පිණිස ම විසින් අසාන්ජ් භාවිත කරමි.

අසාන්ජ්ගේ මවගේ දෙවෙනි විවාහයේ පියා විසින් අසාන්ජ් හදුන්වා දෙන්නේ - හොද සහ නරක පිළිබද සියුම් සංවේදී තීව්‍ර වූ දරුවෙක් - ලෙසයි. ඒ කතාව කියන විට අසාන්ජ් වයස පහ හෝ හය ඉක්මවූවා පමණි. අසාන්ජ් යනු, මිනිසා විසින් මිනිසා පීඩනයට පත් කිරීම පිළිබද තමා විසින් දැඩි නොකමැත්තක් දක්වන්නෙක් - සිය සුළු පියා අසාන්ජ් වැඩිදුර කියවයි. අසාන්ජ්ගේ ජීවිතයට සමාජ පන්නරය ලබා දෙන්නේ, අසාන්ජ්ගේ මවගේ අවිචාරවත් දිවි පැවැත්මයි. ඕ නිරන්තරයෙන් විවාහ වූවාය. එසේම, නිරන්තරයෙන් වාසස්ථාන මාරු කළාය. එසේම, අසාන්ජ් වෙනුවෙන් අධ්‍යාපනය ලබා දීම පිණිස ‘ගෘහස්ථ පාසල‘ ද සමග පාසල් තිස් හතකට 37 අසාන්ජ් ඇතුළත් කොට තිබේ. අසාන්ජ් සිය ජීවිතය පුරා එකිනෙකින් වෙනස් වූ නගර පනහක ජීවත් වූවෙකි. ලෝකයේ හැම දේශාංශයකින්ම හෝ කලාවකින්ම එකිනෙකට වෙනස් සමාජයක් හා හැසිරීම් සහිත සමාජයීයයන් බිහි කරන හෙයින්, අසාජන්ජ් විසින් ආශ්‍රය කරනු ලබන මිනිසුන් විසින් අසාන්ජ් පෝෂණය කරනු ලැබ ඇතැයි කිව හැකිය. මවගේ අසංස්කෘතික හැසිරීම හා සංක්‍රමණයන් නිසා මහත් පීඩාවට හා වෙහෙසට පත් වන අසාන්ජ් මිනිස් සිතෙහි වේදනාව හා පීඩනය පිළිබද යම් ප්‍රමාණයක වැඩි අවබෝධයක් ලබා ගැනීමට සමත් වූවා විය හැක.

මැක්සිම් ගොර්කි ලියා ඇති පරිදි, අයාලේ ගිය එකාගේ සරසවිය වන්නේ මහා සම්මත සමාජයයි. දේශන ශාලාවක ඇති සීතල කරනු ලැබූ - කුෂන් පුටු හෝ ප්‍රොජෙක්ටර් මගින් කෙරෙන විධිමත් අධ්‍යාපනයෙන් ලගා කරගනු ලබන වේදිකාවේ කැමරාවක් ඉදිරියේ සිනහසෙමින් පළදින උපාධි ලෝගුවෙන් හිමි වන දේට වඩා බොහෝ දේ සමාජය විසින්, අපේ ඇදි වත පවා සොරකම් කරමින් සිටිමින් අපිට උගන්වයි. බුදුන් - ජේසුන් - අල්ලා සේම වෙදා - ඇදුරා - පෙරකදෝරුවා - ඉංජිනේරුවා වැන්නන් ද දෙමළා - සිංහලයා - මුස්ලිම්කාරයා යන සියලු දෙනා සමග හොරා සහ උපාසකයා ද එකට සැරි සරන්නේ ගඩොල් බිත්තියෙන් මායිම් නොවූ සමාජ සරසවිය තුළයි. එහෙයින්, කිසිදු න්‍යායික හෝ සෛද්ධාන්තික විධිමත් අධ්‍යාපනයක් නොමැතිව හැදෑරීම හා කියවීම තුළින් පමණක් මාධ්‍යකරුවෙක් බවට පත් විය.

අසාන්ජ් වසර 2006දී බ්ලොග් අඩවියක් ආරම්භ කළේය. එම වසරේදී අසාන්ජ් විසින් තිසීස දෙකක් ලියමින්, අසාන්ජ්ගේ සමාජ කියැවීම අරඹයි. එහිදී පළමුව අසාන්ජ් විසින් සාකච්ඡා කරනු ලබන්නේ ‘රෙජීමයේ මුහුණත වෙනස් නොකරමින් සිට, පවත්නා තත්ත්වයෙන් වෙනස් තත්ත්වයකට රෙජීමය මෙහෙයවනු ලැබීම‘ පිළිබදවයි. මේ හරහා විකිලීක්ස් හා අසාන්ජ් පිළිබද යම් ප්‍රමාණයක කතිකාවක් නිර්මාණය විය. අසාන්ජ් සතුව ‘මීඩියා අයිඩෙන්ටියක්‘ නොවීය. සාදයකදී හෝ මහමගදී අයෙක් වෙත දීමට ‘විසිටින් කාඩ්‘ එකක් නොවීය. ඊ-මේල් විදුලියනයක් එකක් හා ‘ෆේස්බුක් ඉඩමක්‘ පමණක් අසාන්ජ් ඔහුගේ නමින් අත්පත් කර ගත්තේය. අඩි අට-දහය කාමරයක හැඩිවී ගිය මේසයක් උඩ තබා තිබූ ‘ලැප්-ටොප්‘ පරිඝණකයක් හා ඩොන්ගලයක් මානාගෙන, තොරතුරු දඩයම ඇරඹූවේය. ඇතැම් දේ සම්බන්ධයෙන්, අසාන්ජ් බරපතල ලෙස විවේචනය විය. දෝෂදර්ෂණයට ලක් විය. එපමණකින් නොනැවතුනු අසාන්ජ්ට එරෙහි උපහාස හා අපහාස සුනාමි ද ඇති විය. සියල්ල අසාන්ජ් විසින් විද දරාගෙන සිටින්නේ, අසාන්ජ් අනෙකා අභිබවමින් හෝ අභිබවා සිටින නිසාය. අසාන්ජ්ට පෙණෙන සීමාව හෝ අසාන්ජ්ට ඇසෙන සීමාව අනෙකාට ගෝචර නොවීය. විටෙක අසාන්ජ් ‘ගොන් පාට්‘ කාරයෙක් වූ අතර, විටෙක ‘පිස්සෙක්‘ විය. නමුත් මේ සියල්ල ගෝර්කිට අනුව, අසාන්ජ්ගේ සරසවියේ දේශන හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් හෝ විද්‍යාගාර පර්යේෂණ විය.

‘වානේ පන්නරය ලබන්නේ තලන තරමට‘ යැයි ‘වානේ පන්නරය ලැබූ හැටි‘ කෘතියෙහි පෙරවදනෙහි ලියයි. සියල්ල මතින් ලබා ගත් පන්නරය හරහා, ජූලියන් අසාන්ජ් විසින් විකිලීක්ස් නමින් ඩොමේන් නෙම් Wiki-leaks - Domain Name එකක් ලබා ගනිමින්, සිය ක්‍රියාන්විතය අරඹයි. ඇතැම් පුවත්පත් විසින් අසාන්ජ් යනු විකිලීක්ස්හි නිර්මාතෘවරයා හෝ අධ්‍යක්ෂවරයා ලෙසින් හදුන්වනු ලබන විට අසාන්ජ් තම භූමිකාව පිළිබද දරන්නේ ඊට හාත්පස මතයකි - මා ම විසින් මා නිර්මාතෘවරයා යැයි හදුන්වා ගැනීමට නොකමැත්තෙමි. "I dont call myself a founder". ඒ සදහා අසාන්ජ් විසින් ප්‍රගතිශීලී සහේතුකකිරීමක් සිදු කොට ඇත - ම විසින් සිදු කරනු ලබන කාර්යය තවත් සහෝදර මාධ්‍යකරුවන් කිහිප දෙනෙකුගේ වෙහෙසක ප්‍රයත්නයන් වන්නේය. එහෙයින්, ම විසින් මා නිර්මාතෘවරයා යැයි කියා ගැනීම අසංස්කෘතික වේ. අසාන්ජ් විසින් මාධ්‍යකරණය සම්බන්ධයෙන් නව ප්‍රවණතාවක් හෙවත්, න්‍යායක් හදුන්වා දුන්නේය. මාධ්‍යකරණය තුළ ‘විනවිදශීලී‘ සහ ‘විද්‍යාත්මක‘ ප්‍රවේශයක් අසාන්ජ් විසින් නිර්මාණය කළේ යැයි කිව හැක.

තමාගේ හෝ හැකිනම් අනෙකාගේ නිර්මාණයක හිමිකාරීත්වය හෝ ගෞරවය තමා සන්තක කර ගැනීමේ දැඩි අරගලයක් කරමින් සිටින වැඩි පිරිසක් හමුවන හා දක්නට-අසන්නට ඇති තත්ත්වයකදී හා කාලයකදී, අසාන්ජ් නිරන්තරයෙන් පුද්ගලිකත්වයෙන් තොර වූ පොදු හිමිකමක් වෙනුවෙන් අරගල කරයි. අසාන්ජ් විසින් ආදරයෙන් හදා වඩා ගනු ලබන්නේ ‘ජූලියන් අසාන්ජ්‘ නම් වූ ඒක පුද්ගල කීර්ති නාමය නොව. ‘විකිලීක්ස්‘ නම් වූ පොදු සමාජ වස්තුවේ කීර්තිනාමයයි. නමුත්, අසාන්ජ්ගේ පුද්ගල කීර්ති නාමය වැඩි වර්ධනය වෙයි. නිර්මාණ හෝ වාර්තා හෝ විකිලීක්ස් හි වෙනයමක් වෙනුවෙන් හිමි වන ගෞරවය අසාන්ජ් විසින්, විකිලීක්ස් හි සියලු දෙනා සමග ආදරයෙන් සමව බෙදා ගත්තේය. නමුත්, එරෙහිව එන අභියෝග අවලාද අපහාස හෝ එන්තරවාසි වෙනුවෙන් ලිපිනය හෝ විත්තිකාරීත්වයේ නාමය පිරිනමණු ලබන්නේ අසාන්ජ් විසිනි. පොදු සමාජයක් වෙනුවෙන් පෙනී සිටින අසාන්ජ්, පොදු සමාජය වෙනුවෙන් විත්ති කූඩුවේ සිට පිළිතුරු දීමට සූදානම් විය. අද වන විට අසාන්ජ්, ‘ඉලක්කයක්‘ වී ඇත්තේ අසාන්ජ්ගේ පොදු සමාජ පෙනී සිටීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

මාධ්‍යකරණය පිළිබද අසාන්ජ් නියම පොරක් වීම කෙරෙහි ස්වභාවික මූලාරම්භය තබන්නේ, 2008 දී සිදුකරනු ලබන ‘ගුවන්තනාමෝ බේ‘ සිර කදවුරේ සිද්ධී වාර්තාකරණයක් හා 2007 ජූලි 12 වෙනිදා සිදු කරනු ලැබූ ‘බැග්ඩෑඩ් ගුවන් ප්‍රහාර‘ වීඩියෝ පටය හරහායි. වසර 2006 දී ‘කවුන්ටර්-පන්ච්‘ CounterPunch පුවත්පත විසින් අසාන්ජ් පිළිබද ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය. එනම්, අසාන්ජ් යනු, ‘ඔස්ට්‍රේලියාවේ සිටි දැවැන්තම හදුනා නොගත් හැකර් අසානජ්ය‘. දි ඒජ් The Age දිනපතා පුවත්පත විසින් අසාන්ජ් හදුන්වා දෙනු ලැබූයේ, ‘අන්තර්ජාල නිදහසක් වෙනුවෙන් සන්නද්ධ සටන්කරුවා‘ යනුවෙනි. අසාන්ජ්ට අනුව, අසාන්ජ් යනු - ‘ආත්මාර්ථකාමියෙක්‘.

අසාන්ජ් ආත්මාර්ථකාමියෙක් වන්නේ සියලු මාධ්‍යකරුවන් ‘රෙජීමයට සාපේක්ෂව ආත්මාර්ථකාමී විය යුතු වන්නේය‘ යන අදහසින් යැයි මා අනුමාන කරමි. අසාන්ජ් කිසි විටෙක පොදු සමාජයේ සාධාරණත්වය හා සුරක්ෂිතතාවය වෙනුවෙන් කරනු ලබන පෙනී සිටීම කිසිවෙක් වෙනුවෙන් කැප නොකළේය. පාවා නොදුන්නේය. එසේ, කරමින් නොසිටින්නේය. ‘ඕක ලියන්න එපා‘, යැයි අණ කර සිටීමකට හෝ ඉල්ලා සිටීමකට තබා කාරුණික ඉල්ලීමකට පවා අසාන්ජ් අවනත නොවීය. ‘ජීවිතේ ගැන හිතපං‘ වැනි මිත්‍රෙව්ශ තර්ජන පවා අසාන්ජ් නැවතීමන සමර්ථ නොවීය. ‘බඩු කාරයෙක්‘ හෝ ‘කොල්ලො කාරයෙක්‘ යන අන්ත නිර්ලජ්ජිත ක්‍රියාවන් පවා පාවා දෙමින් අසාන්ජ් නැවතීමට ගත් ප්‍රයත්නයන් සාර්ථක නොවිණි. අවසානයේදී, ‘උපත් පාලන කොන්ඩමයක් භාවිත නො කරමින් රමණය කිරීම‘ යන්න විසින් අසාන්ජ් සිරගත කිරීමට සමත් වුව ද අසාන්ජ් එයට ද අවනත නොවීය.

අසාන්ජ් මාධ්‍යවේදියෙක් ලෙස පිළිගැනීමට කිසිදු මාධ්‍ය සංවිධානයක් හෝ ඕස්ට්‍රේලියානු රජයද හැර කිසිදු රජයක් මෑතක් වන තෙක්ම සූදානම් නොවීය. එසේ වූයේ, අසාන්ජ්ගේ හෙලිදරව්වන් හෝ වාර්තාකරණයන් පිළිබද ‘අදහාගැනීමට‘ කිසිවෙක් සමත් නොවීම හා ‘දිරවා ගැනීමට අපහසු වීම‘ය. නමුත්, අසාන්ජ් ‘ද ක්‍රයි ඔෆ් බ්ලඩ්‘ ලිපිය වෙනුවෙන් ‘ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්‘ නම් රාජ්‍ය නොවන සංවිධානයකින් ‘නව මාධ්‍ය සංවිධාන සම්මානය‘ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින් 2008 දී ලබා දෙමින් යම් ප්‍රමාණයක අගැයීමකට ලක් වෙයි. අසාන්ජ්, ගවේෂණශීලී මාධ්‍යවේදියෙකු ලෙස පිළිගනු ලබන්නේ, Center for Investigative Journalism විසිනි. අසාන්ජ් නමට පූර්විකා කියවමින් ප්‍රධානය කරනු ලැබූ සම්මාන ද රාශියකි. TIME සගරාව මගින් පැවැත්වූ මත විමසුමක් මගින් වසරේ සම්මානනීය පුද්ගලයා ලෙස, 2010 දී ‘සෑම් ඇඩම්ස් සම්මානය‘ ලබා දුන්නේය.

අවසන ලියමි. මගේ කියැවීමට අනුව ජූලියන් අසාන්ජ් යනු, පොදු සමාජය හෙවත් ‘සරසවියේ මිතුරන් හා ඇදුරන් වෙනුවෙන් සංවේදී‘ වූ මිනිසෙකි. ඔහු කීර්තිය හෝ ලාභ අපේක්ෂාවෙන් යතුරු ලියනය නොකළේය. ‘හැක්‘ කිරීමට දරණ සෑම ප්‍රයත්නයම ‘ආතල් ගැනීම‘ නැමති පටු අරමුණින් එහා ගිය අනෙකක් වෙනුවෙන් කළ එකකි. සෑම අකුරක්ම අසාන්ජ් පිළිවෙළින් ලියනු ලබන්නේ, ‘හොද මිනිහෙක්‘ වීම හෝ ‘ඇග බේරා ගනිමින් සම්මාන ගැනීම‘ යන අරමුණු යටි හිතේ තබා ගනිමින් නොවේ. අසාන්ජ් විසින් සම්මාන ප්‍රධාන උත්සව හෝ සම්මාන වෙනුවෙන් කිසිදු අයදුම්පතක් යොමු කළ බවකට සාක්ෂි හමු නොවෙයි. එහෙයින්, ‘මීඩියා අයිඩෙන්ටියක්‘ හෝ සාදයකදී - මහමගදී අයෙක් වෙත දීමට ‘විසිටින් කාඩ්‘ එකක් හෝ නොමැතිව ඊ-මේල් විදුලියනයක් එකක් හා ‘ෆේස්බුක් ඉඩමක්‘ පමණක් ඔහුගේ නමින් අත්පත් කර ගනිමින් අඩි අට-දහය කාමරයක හැඩිවී ගිය මේසයක් උඩ තබා ගත් ‘ලැප්-ටොප්‘ පරිඝණකයක් හා ඩොන්ගලයක් මානාගෙන, බ්ලොග් අඩවියක් හරහා තොරතුරු දඩයම ඇරඹමින් අද වන විට, ‘යුක්තිය වෙනුවෙන් කෑ මොර දීමේ වරද‘ට ‘ඉලක්කයක්‘ වීම දක්වා දුර ගමනක් ගිය හා අනන්තයට මෙපිටින් නවතින්නේ කොතැනදැයි නිසි අනාවැකියක් කිව නොහැකි තැනක් දක්වා යමින් සිටින, ‘අප සමාජය වෙනුවෙන් පෙනී සිටින‘ මිනිසා වන ජූලියන් පෝල් අසාන්ජ් වෙනුවෙන් පෙනී සිටිය නොයුත්තේ ද.

                                     

1. බාහිර යොමු

  • Video of US attack in Iraq genuine 5 April 2010, YouTube
  • Goodman, Amy 6 April 2010. "Massacre Caught on Tape: US Military Confirms Authenticity of Their Own Chilling Video Showing Killing of Journalists". Democracy Now!.
  • "WikiLeaks editor on Apache combat video: No excuse for US killing civilians". RussiaToday. April 2010.
  • Meet the Aussie behind Wikileaks Fairfax New Zealand 8 July 2008
  • | title = MSNBC Panel discusses WikiLeaks.orgs "Collateral Murder" Video – Part 1 5 April 2010
  • Is WikiLeaks’ Julian Assange a Hero? Glenn Greenwald vs. Steven Aftergood – video debate by Democracy Now!
  • "Assange Unedited Interview". The Colbert Report. Comedy Central. 12 April 2010. No. 6049.
  • "WikiLeaks Release 1.0: Insight into vision, motivation and innovation". 26th Chaos Communication Congress. 30 December 2009.
  • Symington, Annabel 1 September 2009. "Exposed: Wikileaks secrets". Wired.
  • Archived versions of the home page on Julian Assanges web site iq.org at the Internet Archive
  • Video profile on SBS Dateline